දින 16 සැමරීමට ඇක්ට් ශ්‍රී ලංකා (ACT Sri Lanka) විසින් ප‍්‍රජාව දැනුවත් කිරීමෙහි විදි නාට්‍යයක්, 2015 – ලාස්‍යයා පෙරේරා

ලිපිය: ලාස්‍යයා පෙරේරා, සමාජ ක‍්‍රියාකාරිනී

නොවැම්බර් මස 25 වෙනිදාට යෙදෙන කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීමට මෙරට මෙන්ම ලෝකයේ නොයෙකුත් රටවල් පෙළ ගැසෙනුයේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ අරමුණ පෙර දැඩි කර ගනිමින්ය. මෙම දිනයට සමගාමීව ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම් කර ගත් හිංසනය පිටු දැකීම පිළිබඳ සංසදය (GBV Forum) මඟින් සංවිධානය කරන්නට යෙදුන ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම් කර ගත් හිංසනය තුරන් කිරීමේ දින 16 ක කි‍්‍රයාකාරීත්වයෙහි ආරම්භක දිනය පසුගිය නොවැම්බර් 26 වෙනිදා දින කොළඹ හිල්ටන් රෙසිඩන්ස් හෝටලයේ දී පැවැත් වුණි. එම ආරම්භන දිනය සනිටුහන් කරමින් පැවති උත්සවයේ දී ඇක්ට් ශී‍්‍ර ලංකා ආයතනය (ACT Sri Lanka) විසින් ප‍්‍රජාව දැනුවත් කිරීමෙහි විදි නාට්‍යමය ස්වරූපීය නාට්‍යමය ජවනිකාවක් ඉදිරිපත් කෙරිණි. එය ඇක්ට් ශී‍්‍ර ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂක කපිල රස්නායක මහතාගේ නිර්මාණයකි.

මෙම නාට්‍යමය ජවනිකාවේ දී ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම්ව කාන්තාව තම ගෘහය තුළදී මුහුණ දෙන පීඩාවන් පිළිබඳවත්, පොදු ප‍්‍රවාහන සේවාවන් හිදී කාන්තාවන්ට අත්විඳීමට සිදුවන නොයෙකුත් ආකාරයේ හිංසා පීඩාවන් සහ ගැටළු පිළිබඳවත්, එදිනෙදා මගතොටේ දී කාන්තාවට සිදුවන හිංසාවන් පිළිබඳවත් ආමන්ත‍්‍රණයට ලක් කෙරිණි. එපමණක් නොව කාන්තාව, කාන්තාවක් වීම නිසාම අප සමාජයේ ගැහැණු දරුවන් සහ කාන්තාවන් සමාජය තුළ දෙවැනි කොට සැළකීම සහ වෙනස් කොට සැළකීම පිළිබඳවත්, කාන්තාව පිළිබඳ සමාජය තුළ මුල් බැසගෙන ඇති ඉපැරණි ආකල්පයන් පිළිබඳවත්, එම ගතානුගතික මුල් බැසගත් සමාජ ආකල්පයන් පාරම්පරිකව පැවත ඒම නිසා අද කාන්තාව මුහුණ පා ඇති තත්ත්වයත්, එම ආකල්පයන් වෙනස් කිරීමෙහිලා පිරිමි පාර්ශවයෙහි දායකත්වය සහ ආකල්පයන් කෙලෙස විය යුතුද යන්නත් පිළිබඳව මෙම නාට්‍ය ඔස්සේ කතිකාවට බඳුන් විය.

කාන්තාවන්, කාන්තාවන් වීම නිසාම සමාජය තුළ විවිධ ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන අතරම සමාජය තුළ ඇය පිළිබඳව නොයෙකුත් ආකාරයේ ආකල්පයන් පවතී. එනම්, කාන්තාවන් වූ කල්හි ගෙදරදොර වැඩ කටයුතු කර ගෙන තම දරුවන් රැක බලා ගනිමින් ගෙදරට වී සිටිය යුතුයි යන්නත්, කාන්තාවන්ටම වෙන් වූ වෘත්තීන්, කී‍්‍රඩාවන්, ක‍්‍රියාකාරකම් පවතින බවත්, ඇය පිරිමියා හා සංසංදනය කරන කල්හි බලයෙන් සහ ශක්තියෙන් හීන අයෙකු බවත්, පිරිමියා විසින් මෙහෙය වනු ලබන්නියක් බවත්, සමාජය තුළ පිරිමියා උසස් කොට සළකමින් ඇය පිරිමියා හා බලන කල්හි වෙනස් කොට සැලකිය යුතුය යන්නත් වැනි ආකල්පයන්ය. මෙවැනි ඉපැරණි ආකල්පයන් නිසා කාන්තාව සමාජය ඉදිරියේ අවධානයට ලක් නොවිය යුතු චරිතයක් බවට පත් කොට ඇත. මෙම ආකල්පයන් හේතුවෙන් කාන්තාව සමාජය තුළ ඉදිරියට ඒමට මැලිකමක් නැතහොත් බියක් දක්වනවා මෙන්ම සමාජය විසින් එයට බාධාද පමුණුවා ඇත. යතෝක්ත කාරණා සමග සටන් කරමින් පාරම්පරික ආකල්පයන් බිඳ දමමින් ඉදිරියට යන කාන්තාවන් දුටු සැනින් සමාජය ඇය කෙරෙහි දක්වන ආකල්පයත් පිරිමි පාර්ශවය දක්වන ආකල්පයත් අද සමාජයට අනුකූලව වෙනස් විය යුතු බව තව දුරටත් මෙම නාට්‍යයේ දී අවධානයට ලක් කෙරිණි.

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම් කර ගත් හිංසනය තුරන් කිරීමට නම් කාන්තාවගේ මෙන්ම පිරිමි පාර්ශවයේ ද පූර්ණ සහයෝගය අවශ්‍ය බව පෙන්වා දීමට සහ කාන්තාව සමාජය තුළ දිරි ගැන්වීමට නාට්‍යානුසාරයෙන් කෙරෙන ප‍්‍රජාව දැනුවත් කිරීමේ කදිම වැඩ සටහන් ක‍්‍රමවේදයක් මෙන්ම ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම් කර ගත් හිංසනය තුරන් කිරීම ප‍්‍රචලිත කිරීමට යොදා ගත හැකි කදිම ක‍්‍රමවේදයක් ලෙසත් මෙම නාට්‍ය දැක්විය හැක.

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම් කර ගත් හිංසනය තුරන් කිරීමට සැරසෙන ක‍්‍රියාකාරී දින 16 තුළ කොළඹ අවට ප‍්‍රදේශ කිහිපයකත් පසුව රටේ විවිධ නගර ආවරණය කරමින් විදී නාට්‍යානුසාරයෙන් ප‍්‍රජාව දැනුවත් කිරීමට කපිල රස්නායක ඇතුළු ඇක්ට් ශී‍්‍ර ලංකා (ACT Sri Lanka) ආයතනයේ පිරිස බලාපොරොත්තු වේ.

ඡායාරූප: සැන්චියා බ්‍රවුන්, කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s